Tuesday, November 30, 2010

"කොලොම්බියා" අවසන් ගමන...

    මම හිතුවා මුල්ම ලිපිය අභ්‍යාවකාශ ගවේශන ඉතිහාසයේ අමතක නොවෙන සිදුවීමක් වන  Columbia අභ්‍යාවහකාශ ෂටලය විනාශවීම ගෑන ලියන්න. එතකොට මම 8 වසරෙ. එදා මම අඬපු හැටි මට අද වගේ මතකයි. කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරින් සිදු වූ මෙම අනතුරින් ෂටලයේ සිටි ගගනගාමීන් 7 දෙනාම අවාසනාවන්ත ලෙස මිය ගියා. මෙම ලිපිය ඔවුනට උපහාරය පිණිසයි.

    අභ්‍යාවකාශ ගවේශනයට නව මුහුනුවරක් ලබාදෙමින්, පෘථිවි කක්ෂය වෙත ගිය පලමු අභ්‍යාවකාශ ෂටලය ලෙස ඉතිහාසගත වෙමින් Columbia අභ්‍යාවහකාශ ෂටලය 1981 අප්‍රේල් 12 දින කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ (Kennedy Space Center), Complex 39 හි Launch Pad A මතින් ගුවන්ගත වුනා.


     John W. Young සහ Robert L. Crippen ගගනගාමීන් දෙදෙනා සමග එදා STS-1 මෙහෙයුමෙන් තම රාජකාරි ආරම්භ කල Columbia ෂටලය පුරා වසර 22 කට ආසන්න කාලයක් තුල සාර්තක මෙහෙයුම් 27ක් නිමකළා. සුදු පැහති බාහිර ඉන්ධන ටැංකියක්  (external tank) සහිතව ගුවන් ගත වූ එකම ෂටලය ලෙසද Columbia ෂටලය හෑඳින්වෙනවා.
    Columbia ෂටලයට 2001 ජනවාරි 11 දින STS-107 මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතව තිබුනා. නමුත් සුලු කාර්මික දෝශයක් හා වෙනත් හේතූන් කිහිපයක් නිසා STS-107 මෙහෙයුම 18 වතාවක් (වසර 2 කට අධික කාලයක්)  කල් දැමීමට සිදු වුණා. අවසාන වශයෙන් 2003 ජනවාරි 16 වන දින මේ සඳහා සියලු කටයුතු සූදානම් කෙරුණා.

 
    ඒ අභාවකාශ ෂටල ඉතිහාසයේ 113 වෙනි අභ්‍යාවකාශ චාරිකාවයි. එමෙන්ම Columbia ෂටලයේ 28 වෙනි මෙහෙයුමයි.  Columbia ෂටලයට Launch Pad Aමතින් නික්මීමට විධානය  ලැබී තත්පර 82 ක් හතවීමෙන් පසු බාහිර ඉන්ධන ටැංකියේ  (external tank) තාප පරිවාරක (Thermal insulator) කැබැල්ලක් ගැලවී ෂටලයේ වම් තටුවේ ගැටුණා. එමගින් ෂටලයේ වම් තටුවේ දෘඩ කාබන් ස්ථරයේ (RCC) සෙන්ටිමීටර් 15 X 25 ප්‍රමාණයේ සිදුරක් ඇති වුණා. ඒ වනවිට ෂටලය මුහුදු මට්ටමේ සිට අඩි 66000 ක් (කිලෝමීටර් 20 ක්) ඉහලින් මාක් 2.46 (Mach) (පැයට සැතපුම් 1870) ක වේගයකින් ගමන් කරමින් තිබුණා. කක්ශගත වීමේදී විශාල වශයෙන් තාප විපර්යාසයකට ලක් නොවෙන නිසා Columbia අභ්‍යාවකාශ ෂටලය නිරුපද්‍රිතව පෘථිවි කක්ශය කරා ලඟා වුණා. මෙම අනතුර මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයේ (Mission Control Center) නිරීක්ශනයටද ලක් වූවා. NASA හි තාප ආරක්ශක පද්ධති (Thermal Protection System (TPS)) හා සම්බන්ධ ප්‍රධාන ඉන්ජිනේරුවා මෙමෙ හානිය ගගනගාමියෙකු ලවා පරීක්ෂා කල යුතුදැයි විමසා සිටියත් NASA හි පරිපාලනය ඒ සඳහා නිසි අවධානය යොමු කලේ නෑ. එය අභ්‍යාවකාශයේදී පිළිසකර කිරීමට නොහැකි හානියක් යැයි බලධාරීන් දැඩි මතයක එල්බ සිටියා.

    දින 16 ක් පෘථිවි කක්ෂයේ රැඳී සිටිමින් සිය රාජකාරි අවසාන කොට යළි මවුබිම කරා පැමිණෙන දිනය උදා වුණා. එදා  2003 පෙබරවාරි පළමුවෙනිදා. අණදෙන නිළධාරී Rick D. Husband ප්‍රමුඛ ගගනගාමීන් 7 දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩලය STS-107  මෙහෙයුමේ අවසාන අදියර සඳහා සූදානම් වුනා. යළි වායුගෝලයට ඇතුලු වීමේ ක්‍රියාපටිපාටිය සහ කාලගුනික තත්ත්වය පිළිබඳව මිස පරිවාරක ස්ථරට සිදුවී  ඇති සුලු හානිය පිලිබඳව ඔවුන් එතරම් සැලකිලිමත් වූයේ නැහැ.  

    උදෑසන 8 ට (EST) මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයේ (Mission Control Center) විධානය ලැබීමෙන් පසු 8.15 ට අණදෙන නිළධාරී Rick D. Husband සහ Cameron McCool ගගනගාමීන් දෙදෙනා ෂටලයේ එන්ජින් (Orbital Maneuvering System) පණගැන්නුවා. ඒ වනවිට ෂටලය ඉන්දියන් සාගරයට කිලෝමීටර් 282 ක් ඉහලින් පැවති අතර ඔවුන්ට පෘථිවි ගුරුත්වයෙන් 10% ක් පමණ දැනෙන්නට වුණා.


    8.44 පමණ වන විට Columbia ෂටලය පෘථිවි වායුගෝලයට ඇතුළු වුණා. එවිට ෂටලය තිබුනේ පැසිෆික් සාගරයට ඉහලින්. මේ අතරතුර ෂටලය වායු අණු සමඟ වේගයෙන් ගැටීම නිසා ෂටලයේ වාතය හා සෘජුව ගැටෙන දාරවල උෂ්ණත්වය ශීග්‍රයෙන් ඉහල යන්නට වුණා. ඊලඟ මිනිත්තු 6 තුල එය සෙන්ටිග්‍රේඩ් අංශක 1370 ක් දක්වා ඉහල ගියා.

    8.48 වන විට ෂටලයේ වම් තටුවේ සවිකර ඇති තාප සංවේදක මගින් මීට පෙර ගොඩබැස්වීම් වලදීට වඩා වම් තටුවේ ඉදිරි දාරයේ උෂ්ණත්වය ඉහල යමින් පවතින බව දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන් ෂටලය, දකුණට ඇල කර වම් තටුවේ උෂ්ණත්වය ඉහල යාම සීමා කරගත්තා.


     8.50 වනවිට Columbia ෂටලයට උෂ්ණත්වය ඉහළ යාමේ උච්චතම විනාඩි 10 ට මුහුණදීමට සිදු වුණා. එවිට ෂටලයේ වේගය මාක් 24.1 (Mach) ක් සහ මුහුදු මට්ටමේ සිට උස කිලෝමීටර් 74 ක් ලෙස සටහන් වුණා.
     8.52 වන විට ෂටලය කැලිෆෝනියා වෙරලට කිලෝමීටර් 480 ක් බටහිරින් සිටියා. එවිට වම් තටුවේ ඉදිරි දාරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1450 ක් දක්වා ඉහල ගොස් තිබුණා.
    8.53 වනවිට කැලිෆෝනියා වෙරලට ලඟා වූ අතර වේගය මාක් 23 (Mach) ක්, උස කිලෝමීටර් 76 ක් සහ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1540 ක් වුණා.


 මේ මොහොතේ ෂටලය වටා වන ගිනියම් වූ වායු ධාරාව එක්වරම දීප්තිමත් වී ගියා. මීලඟ තත්පර 23 තුල මෙවැනි අවස්ථා 4ක් දකින්නට ලැබුණා. ඒ සමඟම මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය (Mission Control Center) ප්‍රකාශ කර සිටියේ වම් තටුවේ ඇති හයිඩ්‍රොලික් සංවේදක 4ක් එහි කුඩාම අගයටත් වඩා අඩුවෙන් පෙන්වන බවයි. එනම් ඒවා ක්‍රියාවිරහිතවී ඇති බවයි.
    8.54 වන විට ෂටලය කැලිෆෝනියාව පසුකර නෙවාඩා ගුවන් කලාපයට පිවිස තිබුණා. වේගය මාක් 22.5 (Mach) ක් හා උස කිලෝමීටර් 69.3 ක් ලෙස සටහන් වුණා. මීලඟ විනාඩි 4 තුල පෙර පරිදි දීප්තිමත් වායු ධාරා 18 ක් දර්ශනය වුණා.
    8.55 වනවිට ෂටලය ඇරිසෝනා ප්‍රාන්තයට ළඟා වුණා. ඉන් අනතුරුව නියමුවන් විසින් යානය සෙමින් දකුණේ සිට වමට භ්‍රමණය කිරීමට පටන් ගත්තා.
    8.56 වන විට නිව් මෙක්සිකෝ ගුවන් කලාපයට පැමිණි අතර වේගය මාක් 20.9 (Mach) ක් හා උස කිලෝමීටර් 67 ක් වුණා. 
    8.58 වන විට වම් තටු දාරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1580 දක්වා අඩු වී තිබුණි. එමෙන්ම නිව් මෙක්සිකෝ පසු කර ටෙක්සාස් කරා ෂටලය ගමන් කර තිබුණා. වේගය මාක් 19.5 (Mach) ක් හා උස කිලෝමීටර් 63.9 ක් ලෙස සටහන් වුණා. 

    මේ මොහොතේ එක් තාප පරිවාරක ගඩොල් කැටයක් ෂටලයේ වම් තටුවේ ඉදිරි දාරයෙන් ගැලවී යනු පෙනුණා.
    8.59 යි තත්පර 15 ට යානයේ වම් පස රෝදවල (landing-gear tires) පීඩන දර්ශක ක්‍රියාවිරහිත වූ බව නියමුවන්ට දැකගන්නට ලැබුණා. වහාම ඔවුන් එය මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයට (Mission Control Center) දෑනුම් දුන්නා. පණිවිඩය ලැබුණු බව හා අඛන්ඩව දර්ශක පරීක්ෂා කරමින් සිටිනා බව පාලන මධ්‍යස්ථානයෙන් කියා සිටියා. 
    ඉන්පසු යානයේ නියමුවන්ගෙන් ලැබුණු පණිවිඩය පාලන මධ්‍යස්ථයට හරි හැටි ලබාගත නොහැකි වුණා.  "Roger.. sh shh shhhh...." යන්තමින් ඇසී යානය හා මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය අතර සියළු සබඳතා නතර වුණා.
    8.59 යි තත්පර 37 ට ෂටලය පොළොව මතට මෘදු ලෙස පතිත කිරීමට උපකාරී වන හයිඩ්‍රොලික් පීඩන පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත වුණා.
    ඒ සමඟම ප්‍රධාන අනතුරු හැඟවීම් පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඇති. ඔවුන් ජීවත් වෙන්නේ තව සුළු මොහොතක් බව ඒ වන විට ඔවුන්ට පසක්වන්නට ඇති. හිරු නැගෙමින් තිබූ ඒ මොහොතේ තමා උපන් සුන්දර මිහිතලය ඈතින් දිස්වන්නට ඇති. යානය තුල තිබූ සීතල ක්‍රමයෙන් පහවගොස් යානය වටා පවතින ගිනිදැල්වල උණුසුම ඔවුනට දැනෙන්නට ඇති..........................


    9.00 පසුවී තත්පර 18 ක් ගතවන විට ෂටලයේ හිස කොටස් කිහිපයකින් දිස්වූ අතර තව දුරටත් කැබලි වෙමින් පැවතුණා. 
    9.05 ට විශාල පිපුරුම් ශබ්දයක් ඇති කරමින්, එහි සිටි ගගනගාමීන් සත් දෙනාටම මරු කැඳවමින්, මුලු ලෝකයම කඳුලින් නහවමින් ටෙක්සාස් ඉහළ අහසේදී Columbia අභ්‍යාවකාශ ෂටලය පුපුරා විනාශ වුණා.

                    
   STS-107  මෙහෙයුමේ කාර්යමණ්ඩලය (වමේ සිට දකුණට)



අපේ හදවත් තුල ඔබ සදා අමරණීයයි.....!
* * * * * * *

"ලෝකයෙන් එහා"ට පිය නගමු..

    අපි වැඩිදෙනෙක් අපේ ලෝකයෙන් එහා මොනවද වෙන්නේ කියල හිතන්නෙ නැති තරම්. ඒත් අපේ ලෝකයෙන් එහා තියෙන සෑම දෙයක්ම අපිට අලුත් දේවල් නේද. මේ අපේ පුන්චි ලෝකය තුල කෙතරම් දේවල් සිදුවෙනවද. ඉතින් ඒ වගේ ග්‍රහලෝක බිලියන ගනනක් තියෙන මේ විශ්වය තුල අපි නොදන්න විශ්මයජනක දේවල් කෙතරම් සිදුවෙනව අතිද.
    මම මේ බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ සින්හල බ්ලොග්ස් කියවන යාලුවන්ට අපේ ලෝකයෙන් එහා වෙන දේවල් ගැන සොයන්න පුන්චි පෙලඹවීමක් ඇති කරන්න හිතාගෙන. මගේ වෑයම සාර්ථක වෙන්න මට ඔයාලගෙ සහයෝගය ඕන.
    ඔයාලටත් පුලුවන් මේ බ්ලොග් එකට ලිපි ලියන්න. විශ්වය ගැන, විශ්ව ගවේශනය ගැන ඔයල ලියන ලිපි මට e - mail කරන්න. මම ඒ ලිපි ඔයාලගෙ නමින් පලකරන්නම්
              kushan.srilanka@gmail.com
                                      ...බොහොම ස්තුතියි...